HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්දකෝෂයට අලුතින් ම එක් වූ ලක් වදන්

ඉංග්‍රිසි භාෂාව ජාත්‍යන්තර භාෂා අතර ලෝකය පුරා වැඩියෙන් ම භාවිත වන භාෂාව යැයි කීවොත් වරදක් නැත. ජනගහනය අතින් ලොව වැඩියෙන් ම භාවිත වන භාෂාව චීන මැන්ඩරින් ය. ලොව පුරා වෙළෙදාමේ යාමත් විවිධ රටවල් යටත් විජිත කර ගැනීමත් නිසා ඉංග්‍රිසියට මේ තත්වයට පත් වීමට හැකිවිය. මේ ලොව පුරා යන ගමනේ දී ඉංග්‍රිසිය ඒ රටවල භාෂාවලින් නව වදන් ඉංග්‍රිසිය කුළට වැද්ද ගත්තේ ය. ඒ හැරෙන්නට ලොව පුරා රටවල් විශාල ප්‍රමාණයක් සිය මවු බසට අමතරව ඉංග්‍රිසිය තමන් භාවිත කරන ප්‍රධාන නිල භාෂාව කර ගත්හ. අප්‍රිකා මහාද්වීපය වැනි රටවල විශේෂයෙන් ලිඛිත අක්ෂර නැති රටවල් ඉංග්‍රිසි අකුරු සිය කථික බස ලියන්නට යොදා ගත්හ. 

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්දකෝෂය

ලෝකයේ ඉංග්‍රිසිය ප්‍රධාන භාෂාව කර ගත් රටවල් අතරින් එය තමන්ට උචිත ආකාරයට හැඩගස්වා ගැනීමක් ද සිදු විය. ඒ අනුව උච්චාරණයෙන්, අක්ෂර භාවිතයෙන්, උපමා රූපක හා පද ගැළපීම ආදියෙන් වෙනස් කරමින් තමන්ට ම ආවේණික ඉංග්‍රිසියක් සකසා ගත්හ. ඒ අනුව බ්‍රීතාන්‍ය ඉංග්‍රිසි, ඇමරිකන් ඉංග්‍රිසි, ඔස්ටේලියානු හා නවසීලන්ත ඉංග්‍රිසි, දකුණු ආසියානු ඉංග්‍රිසි, අප්‍රිකානු ඉංග්‍රිසි යනුවෙන් ඉංග්‍රිසි භාෂාව පිළිගත් වෙනස්කම් සහිත ලොව පුරා භාවිත කරති. අපේ රටේ වැඩිපුර භාවිත වන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රිසියයි. අප භාවිත කරන පරිගණකවල මේ භාෂා වෙනස්කම් වෙන වෙන ම දක්වා ඇති නිසා ඇමරිකන් ඉංග්‍රිසි භාවිත කරන අය ද සිටිති. 

2025 ජූනි මාසයේ සිරිලක් වදන් විශාල ප්‍රමාණයක් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්දකෝෂයට එක්කර ගනු ලැබීය. මෙවර අලුතින් ම එක් වූ වදන් ගණන 10කි. ඒවා ඉංග්‍රිසි අකුරුවලින් ඉංග්‍රිසි ලේඛනයේ දී භාවිත කළ හැකිය. නිදසුනක් වශයෙන් මෙතෙක් ‘කිරිබත්‘වලට Milk Rice කියා යෙදීම අවශ්‍ය නොවේ. අන්තර්ජාලයේ ඒ පිළිබඳ විස්තර දක්වා ඇත්තේ මෙසේය: 

අවුරුදු – Avurudu/Awurudu – Sinhala & Tamil New Year celebrated in April. සිංහල දෙමළ අලුත් අවුරුද්ද හැඳින්වෙන නාමයයි. 

ඔසරිය  –  Osari – A type of sari traditionally worn by Sinhalese women, with a midriff frill and shoulder drape. සිංහල කාන්තාවන් අඳින සාරි විශේෂයකි. ඉණ වටා ඔතා ඉණෙහි රැලි සිටින සේ අඳින ඔසරි පොට වම් උරහිසෙන් පිටුපස පහතට වැටෙන සේ අඳින්නකි. උඩරට සාරිය කියාද හැඳින්වේ. 

කොත්තු රොටි – Kottu Roti – Chopped flatbread stir-fried with vegetables, meat & spic. ගෝදම්බර රොටි කැබලි කර මස් හා එළවළු කුඩා කැබලිවලට ලියාගෙන ඊට මස් හොදි හා බිත්තර දමා වානේ තහඩුවක් මත වූ උදුනක පිසෙන අතර තවත් වානේ කැබලි දෙකකින් තට්ටු කර මුසු කර ගන්නා ජනප්‍රිය ආහාරයකි. 

කිරිබත් – Kiribath – Rice cooked in coconut milk, served at celebrations. අවුරුදු උත්සවය ඇතුළු උත්සව අවස්ථාවන් සැමරීමට විශේෂයෙන් පිසින මෙම ආහාරය සංස්කෘතිකව ශ්‍රී ලාංකික ජනතාව තදින් බැඳී පවතින්නකි. 

මැල්ලුම් – Mallung – Lightly cooked greens with grated coconut & spices. කුඩා කැබලිවලටලච කපා ගන්නා පලා වර්ගයක් පොල් යොදා යම්තමින් මලවා ගෙන සාදා ගන්නා ව්‍යංජනයකි. 

වටලප්පම් – Watalappam – Spiced coconut custard dessert, popular among Muslims. පොල් කිරි හා බිත්තර කැරමල් යොදා ගෙන තනන විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව අතර ජනප්‍රිය අතුරුපසක්. 

බයිලා – Baila – Upbeat Sri Lankan music genre with Portuguese roots. පෘතුගීසින්ගේ යටත් විජිතයක් ව තිබියද ඔවුන් විසින් හඳුන්වා දෙන ලද වේග රිද්ම සංගීත ශානරයක්. 

පපරේ – Papare – Lively brass band music played at sports events. ක්‍රීඩා අවස්ථාවලදී නරඹන්නන් පිනවීම සඳහා පිත්තල වාද්‍ය භාණ්ඩ යොදා ගෙන කරන සජීවි සංගීතයක්. 

අස්වද්දනවා – Asweddumise - To prepare land for paddy cultivation. අස්වනු ලැබීම සඳහා විශේෂයෙන් පුරන් වූ කුඹුරු සූදානම් කිරීම. 

වලව්ව – Walawwa – A mansion or manor house; the principal house of an estate. තේ වතුකරයේ ප්‍රධාන බංගලාව හෙවත් ප්‍රභූ මන්දිරයක්. මෙය රජ මැඳුරක් නොවේ. ‘වලව්‘ යන්න උඩරට දෙමළ (වඩුග) රජවරුන් සිටි කාලයේ තම නිවස රාජ මන්දිරයක් නොව සාමාන්‍ය පැලක් බව කීමට අදිකාරම්ලා භාවිත කළ දෙමළ වදනකි. 

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්දකෝෂයට මීට පෙර ඇතුළත් කර ගත් වචන කිහිපයක් මෙසේය: 

අස්වද්දනවා යන වදන ඇසුරෙන් සකසා ගත් ඇස්වැදුමයිස් (asweddumize) යන බොහෝ කලකට ඉහත බාර ගෙන තිබුණ ද එය පසුව ගිලිහී ගොස් තිබී යළි ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. සිංහල වදන් ඇසුරු කර ගෙන තැනූ ප්‍රකට වදන් දෙකක් නම් ‘ඇනකොන්ඩා‘(anaconda) සහ ‘කැලමැන්ඩර්‘ (calamander) ය. ඔක්ස්ෆර්ඩ් කොන්සයිස් ශබ්ද කෝෂයෙහි පවා ඒ වදන් සමගම මේ බව සඳහන් කර තිබේ. ඇනකොන්ඩා වදන තනා ගෙන ඇත්තේ ‘හෙනකඳයා‘ යන හෙළ වදනෙනි. ‘කළුමැදිරිය‘ ගස ඉංග්‍රිසි බසින් කියන්නේ ‘කැලමැන්ඩර්‘ කියාය. අනෙක් වදන් අතර අයියා (aiya), අය්යෝ (aiyo), අම්බලම (ambalama), මුදලාලි (mudalali), පුන්නක්කු (poonac), පෙරහැර (perahera), පොල් සම්බෝල (pol sambol). ඉංග්‍රිසි අකුරුවලින් සිංහල වදන් ලිවීම හෙවත් ‘සිංග්ලිෂ්‘ (Singlish) යනු අප මතකයට නැඟෙන කීපයකි. ජාත්‍යන්තර ක්‍රිකට් තරග නරඹන අයට පිටියෙන් නිතර ඇසෙන වදනක් නම් ‘අයියෝ‘ (aiyo) යන්නයි. ශෝකය, විමතිය, හෝ තැවීම පළ කිරීමට යොදන බොහෝ ක්‍රීඩාවේ දී මෙය යොදන්නේ විකට්ටුවේ ගෑවී නො ගෑවී පන්දුවක් ගිය විට, උඩ පන්දුවක් අත ඇරිය විට හෝ එල්ල වැරදී ගිය විට ය. අපේ ක්‍රීඩකයන් නොමැති තරගවල දී පවා මේ වදන දැන් බොහෝ විට අසන්නට ලැබේ. ඒ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්දකෝෂයට පින් සිදු වන්නටය. 

ලෝකයේ ශබ්දකෝෂ අතර සිළුමිණ ලෙස සැලකෙන ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට වදන් එකතු කර ගැනීම දිනපතා ම සිදු වෙයි. ඒ සඳහා විශේෂ කාර්යය මණ්ඩලයක් සිටියි. ශබ්දකෝෂ සංස්කාරකවරුන්, වාග් විද්‍යාඥයන්, භාෂා පර්යේෂකයන්, ලේඛකයන් ඒ මණ්ඩලයට අයත් වෙයි. ඊට අමතරව ස්වේච්ඡාවෙන් මීට එක්වන විද්‍යාර්ථීන් රැසක් ලොව පුරා විසර සිටිති. අන්තර්ජාලය එන්නට පෙර සිට ඔවුන්ගේ සංස්කරණ ක්‍රියාවලිය කැපී පෙනන ආකාරයෙන් සිදු විය. අද අන්තර්ජාලයේ ආගමනයත් සමග වේගවත් හා පහසු වී ඇත. දැන් වසරේ ඒ මාසවල තෝරා ගන්නා වචන ඔවුන්ගේ වෙබ් අඩවියෙහි පළ කෙරේ. පෙර මෙන් නොව අද භාෂාව ගැන උනන්දුවක් දක්වන අයට එම වෙබ් අඩවියට ගොස් ඒවා බලාගත හැකිය. මේ ගැන උනන්දුවක් දක්වන අයට දැන ගැනීමට ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට වදන් එකතු කර ගැනීම ගැනත් ශබ්දකෝෂ කරණය ගැනත් ලිපියක් ඉදිරියේ දී පළ කිරීමට බලාපොරොත්තු වෙමි. 

- පර්සි ජයමාන්න

අදහසක් පළ කරන්න

0 Comments